in

ලංකාවට නැවත සුනාමියක් එයිද? යන්න ගැන ඇමරිකානු විද්‍යාඥයින් කළ පර්යේෂණයේ ප්‍රතිඵල

මීට දශක එකහමාරකට පෙර 2004 ලංකාවේ ඇතිවූ සුනාමි තත්වය මහා දරුණු ඛේදවාචකයක් විය. එම සිදුවීමෙන් අනතුරුව ලංකාව අවට රටවල භූමිකම්පා තත්ව ඇතිවන වාරයක් පාසා එවැනි ජීවිත හානියක් වේ යයි බියෙන් වරින් වර ජනතාව තැතිගන්නා අයුරු මේවනවිටත් සුලබ සිදුවීමකි. ඇතැමුන් මුහුද අවට සංචාරක ගමන් යාමට පවා තවම බියක් දක්වන්නේ සුනාමියක් වැනි අනපේක්ෂිත අනතුරකට මුහුණදීමට වේයයි බියෙනි.
ලංකාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් පිහිටුවන්නේද මේ ඛේදවාචකයෙන් පසුය. මෙම මධ්‍යස්ථානය මෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වරින්වර සුනාමියක් සම්බන්ධ සැකයක් ඇති වන සෑම අවස්ථාවකම ජනතාවට තත්වය විස්තර කරදීමට ඉදිරිපත්වේ. සුනාමි අවදානම දැනුණ ප්‍රදේශවල සුනාමි අනතුරු ඇගවීම් පද්ධති පවා සවිකර ඇති අතර කලින් කලට ඒවා පරීක්ෂා කිරීමට හා පෙරපුහුණු පැවැත්වීමටද රජය කටයුතු කරයි.
නමුත් විද්‍යාත්මකව සැලකීමේදී ලංකාවට එවැනි සුනාමියක් තවත් වසර 200 කින් එපිට මිස මෙපිට සිදුවිය නොහැකි බව ඇමරිකානු විද්‍යාඥයෝ පවසති.
2004 දී හට ගත් සුනාමි උදම් රළ මෙන් විශාල සුනාමියක් තවත් වසර 200 කින් නොව වසර 1000 කට පසුව පමණක් ඇතිවිය හැකි බවටද දන්වා ඇත.
මෙම පර්යේෂණය ලංකාවේ අපට සිතට සහනයක් නෙ දෙන වාර්තා එළිදක්වා ඇති එකකි. ඉන්දියානු සාගර කලාපීය සුනාමි හට ගැනීම පිළිබඳව අධ්‍යයනයක් කළ කණ්ඩායමේ මහාචාර්ය ග්‍රෙගර් එබර්ලි මෙම පර්යේෂණය මෙහෙයවූ අතර වසර දහස් ගණනක් පුරා ලංකාවට ඇති වූ සුනාමි වලින් හම්බන්තොට ‘කරගන්’ ලේවායේ මුහුදු පතුලේ තැන්පත් වී තිබෙන අවසාදිත විශ්ලේෂණය කිරීමෙන් එම නිගමන
වලට ඔවුන් පැමිණි බව දන්වා තිබේ.මියාමි සරසවියේ පර්යේෂිකා භූ විද්‍යාඥ කෙලි ජැක්සන් සමග එක්ව මහාචාර්ය ග්‍රෙගර් එබර්ලි මෙසේ අදහස් දක්වා තිබේ.
‘අපි 2004 න් පස්සේ ශ්‍රී ලංකාවට ගියා. මොකද මහාචාර්ය ෆෝල්ක් අමෙලොන්ග් දැන ගෙන ඉඳල තිබුණා ක්‍රිස්තු වර්ෂයට පෙර 200 වසරේදී සුනාමියක් ලංකාවට ආව කියල වාර්තා තියෙනවා කියල. මේ නිසා හම්බන්තොට ‘කරගන්’ කලපුවේ මෙන්ම එම ප්‍රදේශයේ කලපුවල ඉපැරණි රොන්මඩ පිළිබඳව පර්යේෂණ කරන්න අපි තීරණය කළා. නමුත් පර්යේෂණ ප්‍රතිඵලය අනුව දැන්ම කලබලවීමට කිසිම කාරණාවක් නැති බව තමා කිව යුත්තේ.
එවැනි සුනාමියක් හට ගන්න වසර 1000ක් ගත වෙනවා. මේ නිසා ඉදිරි අවුරුදු දහස තුළ ඇතිවෙන සුනාමි 2004 සුනාමියට තරම් විශාල ඒවා නොවෙයි. ඒක හෙට වෙන දෙයක් නොවෙයි, අවුරුදු 100 කින් වෙන දේකුත් නොවෙයි අවුරුදු 200 කින් වෙන දෙයකුත් නෙමෙයි. ඒකට තව විශාල කාලයක් ගත වෙනවා.’

එම කලපුවල මඩ සහ වැලි අතරින් ඇලුමිනියම් පයිප්පයක් හෝ එවැනි බටයක් යවා එම මඩ සහ වැලි තැන්පත්ව ඇති ආකාරයටම ගෙන පර්යේෂණවලට ලක් කර තිබූ බව භූ විද්‍යාඥ කෙලි ජැක්සන් පවසා තිබේ. ඇය මෙසේ කියයි.
‘මුලින්ම යටම තට්ටුවේ තොරතුරු සොයා බැලෙනවා, ඊළඟට ඊලඟ තට්ටුව මේ වගේ අන්තිමට, උඩම තට්ටුවේ ඒ කියන්නේ 2004 සුනාමියෙන් තැන්පත් වුණු පස් සහ මඩ පිළිබඳව පර්යේෂණ කෙරෙනවා. මේ වැඩවලට අපට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ චන්ද්‍ර ජයසේන අපට උදව් උනා. උපකරණ ආදිය ලබා දුන්න.’

මේ අනුව මීට වසර 2400 කට පමණ කලින් සිදුවූ සුනාමිය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගත හැකි බවත් එම සුනාමිය ගැන ලංකා ඉතිහාසයේ කරුණු දැක්වෙන මහා වංශයේ තොරතුරු ඇති බවත් ඇය කියා සිටියාය.

‘වාර්තාවලට අනුව සුනාමියක් හට ගෙන ඇති අඩුම කාල පරාසය වසර 200 ක්. මේ නිසා අද සිට තවත් වසර 200 ක් යන තුරු අලුතින් සුනාමියක් බලාපොරොත්තු වෙන්න බැහැ. මහා විශාල සුනාමියක් ශ්‍රී ලංකාවට ඒවී කියල හදිසි අනතුරුදායක තත්ත්වක් නැහැ. නමුත් ඊලඟ පරම්පරාවලට මෙය බලපාන්න පුළුවන්’ කෙලි ජැක්සන් පැවසුවාය.

මේ නිසා කලබලවීමට අවශ්‍ය නැහැ නමුත් වැඩි පරිස්සමට වෙරළාශ්‍රිත ගොඩනැගිලි කොන්ක්‍රීට්වලින් ඉදි කිරීම වැදගත් බව ඇය පෙන්වාදී තිබේ.

Written by yathuralk

ලෝකයේ සූදුවට ඇබ්බැහිවූ රටවල් මොනවාද?

2020 නොස්ත්‍රදාමුස්ගෙන් අනාවැකි – ට්‍රම්ප් නැවත දිනයි – 3 වනලෝක යුද්ධයක් ඇතිවේ – ඉන්දියාවේ ජපානයේ භූමිකම්පාවන්