මගේ මතකයේ හැටියට ඒ එක්දහස් නවසිය පනස් එකේ වර්ෂයයි. එවකට මම අවුරුදු දොළහක පමණ පාසල් සිසුවෙක්මි. මා ඉගෙන ගත්තේ හලා/ බණ්ඩිරිප්පුව රෝමානු කතෝලික පිරිමි ප්‍රාථමික පාසලේය. මේ සිද්ධිය වන විට මා ඉගෙනුම ලැබුවේ පස්වැනි පන්තියේය. මේ කතාවට සම්බන්ධ පාත්‍ර ජනයා දැනට මිය ගොස් ඇති නිසා සිද්ධියට සම්බන්ධ නම් ගම් එලෙසම සඳහන් කරමි.
මේ පාසලේ මුල් ගුරු මහතා වූයේ එවකට අංක ගණිත විශේෂඥ ගුරු පියකු වූ පී. ජේ. මාස්ටර්ය. දුඹුරු පාට ටුවිඩ් රෙද්ද ඇඳ, ඊට උඩින් සුදු කබායක් හැඳි එතුමා අඩි පහමාරක් පමණ උස මහත දෙහෙත පෞද්ගලයෙකි. හිස කෙස් රහිත රවුම් හිස සහ පුළුල් නළල් තලය මට අදටත් මැවී පෙනේ.
දහවල් විවේකයෙන් පසු සෑම සිකුරාදාවකම දහවල් දොළහට සියලුම ළමයින් මුල් ගුරුතුමාගේ මේසය වටේ වාඩි විය යුතුය. නඩු අසන්නේ ඉන් පසුවය.
එදා නඩු කීපයක් අසා වරදකරුවනට දඬුවම් කළ මුල් ගුරුතුමා ඊළඟ නඩුව කැඳවීය. විත්තිකාරයා වූයේ අපේ පන්තියේ රිචඩ් හෙවත් රිචාය. රිචාගේ හැසිරීම පාසලටම හිරිහැරයක් බව ගුරු මණ්ඩලයේ ද අදහස විය. පැමිණිල්ල වූයේ තුනේ පන්තියේ ළමයකුට ගසා ඔහු ළඟ තිබූ දිවුල් ගෙඩියක් උදුරා ගැනීමය. මේ වගේ දේවල් රිචාට අලුත් දෙයක් නූණත් ලොකු මහතාගේ වේවැලට නම් ඔහු දක්වන්නේ පුදුම බයකි. අඩි තුනක් පමණ දිග මාපට ඇඟිල්ල තරම් මහත වේවැල දකින හැම ළමයකුටම ඇත්තේ මහත් බියකි. සාක්කි විභාගයේදී රිචා වරදකරු විය.
ලොකු මහත්තයා වේවැලත් ගෙන නැගිට රිචා ළඟට ගොස් ඔහුගේ අතකින් අල්ලාගෙන පස්ස පැත්තට පහරක් ගැසීය. එහෙත් රිචා අනෙක් පැත්තට පැන්නෙත් ඒ පාර වැදුණේ මුල් ගුරුතුමාගේ ටුවිඩ් රෙද්දටය. එහෙත් දෙවන වේවැල් පහර නම් දැඟලීම නිසා රිවාගේ පිටකොන්ද හරහා වැදුණි.
ඒ සමඟම අමු තිත්ත කුණු හරුපයක් කියා ලොකු මහතාගේ අත සපා කා එළියට පැන්න රිචා තවත් කුණු හරුප වැලක් කියමින් අඬ අඬා පැන දිව්වේය. එහෙත් කිසිවෙක් ඔහු හඹා නොගියේ ඔහුගේ හැටි දන්නා නිසාය. නඩු විභාගය එතෙකින් අවසන් විය. ඒ වගේම රිචඩ්ගේ අධ්‍යාපනය ද එතෙකින් අවසන් විය. මේ මුල් ගුරුතුමාණෝ සුප්‍රසිද්ධ කතෝලික පියනමක් වූ අර්නස්ට් පෝරුතොට පියතුමාගේ පියාණෝය.