මෙය දැනට දශක කිහිපයකට පෙර මතුගම ප්‍රදේශයේ වූ ගමක සිදුවූ සිද්ධියකි. මෙකී ගමෙහි විසූ ගුණදාසට හා ජයවතීට දාව උපන් සිරියාවතී වයස අවුරුදු දහඅට ඉක්මවූ තරුණියක් වූවාය. නිසි වයස එළැඹුණු බැවින් දෙමහල්ලෝ තම දියණියට කරකාර බන්දා දීම සඳහා සුදුසු සහකරුවකු සොයමින් සිටියහ. මේ අතර මතුගම ප්‍රදේශයට ආසන්න ගමක තරුණයකු ඇයට යෝජනා වූ අතර සිරියාවතී මෙම තරුණයා සමඟ දීග යෑමට තදබල අකමැත්තක් පළ කළේ එගම් වැසියන් තරමක මෝඩ පහේ ගැමියන් යැයි ප්‍රචලිතව තිබූ බැවිනි.
සිරියාවතීගේ කීම අනුමත නොකළ දෙමහල්ලන් දිනක් මෙම යෝජිත තරුණයා හා ඔහුගේ වැඩිහිටියන් තම නිවසට ගෙන්වා ගත්තේ කෙසේ හෝ තම දියණි සිරියාවතී මෙම කටයුත්තට කැමැති කරවා ගැනීමේ අරමුණිනි. මෙම කටයුත්තට තදබල ලෙස විරෝධය පෑ සිරියාවතී තම කාමරයට වී නිසොල්මන්ව සිටියේ කෙසේ හෝ මෙම යෝජිත තරුණයාගේ අනුවණකම තම දෙමවුපියනට ඒත්තු ගැන්වීමේ අරමුණිනි. මේ අතර යෝජිත මනමාලිය තවමත් නොදුටු මනමාලයා ඇය හා කථාබස් කරුණු පිණිස මනමාලියගේ ගේ වටා ඇවිද ගොස් මනමාලිය මුළු ගැන්වී සිටි කාමරය අසලට පැමිණියේ අහම්බෙනි. තරුණිය ක්ෂණිකව දුටු තරුණයා ඇයට රහසිගතව කථා කොට බීමට වතුර වීදුරුවක් ඉල්ලුවේ තරුණිය හොඳහැටි දැකබලා ගනු රිසියෙනි.
මනමාල තරුණයාගේ තරම තම දෙමවුපියනට පෙන්වීමට සිතූ තරුණිය ද ගෙට දිව ගොස් වතුර වීදුරුවක් පුරවා එය ජනේලයෙන් දුන්නේ තරුණයාගේ සිතැඟි ඉටුකිරීමේ අරමුණිනි. තරුණිය තමාට ගෙනවිත් දුන් වතුර වීදුරුව එළියේ සිටි තරුණයා ජනේලයේ කම්බි කූරු අතරින් අල්ලා ගත්ත ද එය තමා වෙත ගැනීමට නොහැකි වූයේ කම්බි කූරු නිසාය. මේ අතර තම දෙමවුපියන් හණික තම කාමරයට කැඳවූ සිරියාවතී වතුර වීදුරුව ගැනීමට නොහැකිව එය දෑතින් අල්ලා ගෙන සිටින තරුණයා ගේ මෝඩ ක්‍රියාව තම දෙමවුපියනට පෙන්වූයේ “ඔන්න තාත්තෙ, අම්මෙ මොවුන්ගේ මෝඩකමේ තරම දැන්වත් තේරුම් ගන්නයැÓයි පවසමිනි. මංගල්‍යය එතැනින්ම අවසන් විය.