පරණ යතුරක් කළ මහ වෙනස


ඒ මීට වසර තිහකට පෙර සිදුවීමකි. පාසලේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව හතළිහකට සීමාවූ වැහෙන්න ඔන්න මෙන්න තරමේ පාසලකි. විදුහල්පති විභාගය සමත්වූ මට ලැබුණු පළමු පාසල මෙයයි. කෙසේ වෙතත් ලැබී තිබෙන පාසලේ විදුහල්පති භූමිකාව හරි හැටි ඉටු කිරීම මගේ ක්‍රියාදාමයයි.

සෝමපාල ඉඳ හිට පාසල් එන ළමයෙකි. ඔහු ගමේ මුදලාලිගෙ හරක් පට්ටිය තණ බිම් සොයා ගෙන යන අතර හවස් වන විට නිවස බලා හරක් පට්ටිය දක්කයි. මේ වගකීම නිසා සෝමපාල සතියට දෙවතාවක් පමණි, පාසල් එන්නේ.

ගමේ මුදලාලි චණ්ඩියෙක් මෙන් ම නාහෙට අහන්නේ නැති පුද්ගලයෙකි.

මේ චෞර පුද්ගලයගෙන් සෝමපාල බේරාගෙන ඔහුට අධ්‍යාපනය ලබාදීමට කටයුතු කිරීම මගේ යුතුකමක් ලෙස සිතට වදදෙන්නට විය. පාසලේ ගුරුවරු මේ ගැටලුවට අත නොදමන ලෙස මට උපදෙස් දුන්හ.

මම කෙසේ හෝ ළමයා බේරා ගන්න අදහසින් කදිම උපායක් කල්පනා කළෙමි. පරණ දොර යතුරක් පාසලින් ම සොයා ගෙන එයට සිහින් පටියක් ගැටගසා උදේ පාසල් රැස්වීමට සහභාගි වුණෙමි. සෝමපාල ද එදා උදේ පාසල් ඇවිත් සිටියේ ය. රැස්වීම ඉදිරියට කැඳවා සෝමපාලට පාසලේ ඇතුල් කාමරයේ යතුර කරේ පලඳා සෝමපාල නැතුව පාසලේ කටයුතු කරගෙන යන්න බැරි බව තරයේ පැවැසීමි. ගම පුරා ම මේ ආරංචිය පැතිරිණි. ඉන්පසු සෝමපාල උදේ පාන්දර කාටත් පළමු පාසල් විත් යතුර විදුහල්පතිවරයාට බාර දෙන්නේ ය. පාසල හමාර වූ පසු යතුර රැගෙන ගෙදර යන සෝමපාල යතුර ප්‍රවේශම් කරගෙන සෑම උදයකම එදා පටන් පාසල් ඒමට පුරුදු විය.‍ ඉන්පසු සෝමපාල පාසලේ ම නායකත්වය ලබමින් ඉදිරියට ගියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *